පළාත් සභා ඡන්දයේ බලාපොරොත්තුව ඈතින් ඈතට

ලබන වසරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ බලාපොරොත්තුව 50%ට වඩා අඩු බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
නව පළාත් පාලන මැතිවරණ (සංශෝධන) නීතිය යටතේ  කොට්ඨාස සැකසීමේ කාර්යය අවසන් කිරීමට සීමා නිර්ණ කමිටුවට සිදුවනු ඇතැයි ඊට හේතුව ලෙස ඒ මහතා දැක්වීය.ඉන් අනතුරුව  සමස්ත ක්‍රියාවලිය සමාලෝචනය කළ යුතු බචත් යම් යම් අඩුපාඩු නිවැරදි කිරීමට හා සංශෝධන ඇතුළත් කිරීමට සිදුවන ඇති බවත් ඒ මහතා  පැවසීය.

“එමනිසා ලබන වසරේ මැතිවරණය පැවැත්වීමේ සම්භාවිතාව සියයට පනහට අඩු බව කිව හැකියි“යැයි ඒ මහතා කීය.උතුරු මැද ,සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය මේ සතියේ අවසන් වීමත් සමග ඒ මහතා මේ බව කීය.
කොට්ඨාස මායිම් ලකුණු කිරීමේ කාර්යය ජනපතිවරයා සීමා නිර්ණ කමිටුවට පැවරුවහොත් තවත් සාමාජිකයින් දෙදෙනකු පත් කරන්නට අවශ්‍ය බව සීමා නිර්ණ කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.කේ.එස්.එස් රත්නායක මහතා පැවසීය.



නිල කාලය අවසන්වී ඇති පළාත් සභා තුනෙන් මෙම කාර්යය ආරම්භ කළ හැකි බව ඒ මහතා කීය.අදාළ සාමාජිකයින් පත් කිරීමෙන් පසු යෝජනා ඉදිරිපත් කිරීමට කාලය ලබා දීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කරන බව රත්නායක මහතා පැවසීය.
 “විරෝධතා නොපැමිණියහොත් වාර්තාව දෙසැම්බර් මාසයේදී අවසන් කළ හැකියි.අවසන් වාර්තාව මාර්තු වන විට සූදානම් කළ හැකියි.එක් එක් දිස්ත්‍රික්ක සඳහා තාක්ෂණ කමිටුවක් සහ සමාලෝචනය සඳහා කාල සීමාවක් ලබා දිය හැකියි.“යැයි රත්නායක මහතා ප්‍රකාශ කළේය.මෙම ක්‍රියාවලිය අනෙක් පළාත්වල සම්පූර්ණ කිරීමට දිගු කාලයක් ගත වන බව ඒ මහතා කීය.
පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසූවේ මැතිවරණ පැවැත්වෙන තුරු අදාළ පළාත් සභා බලය ආණ්ඩුකාරවරුන් සතුවන බවත් පරිපාලන ප්‍රධානීත්වය අදාළ ප්‍රධාන ලේකම්වරුන් විසින් දරනු ඇති බවත් ය.පළාත් අමාත්‍යවරුන්ගේ වාහන හා නිල නිවාස ආපසු බාරදීමට සිදුවනු ඇති බවද ඒ මහතා කීය.

Comments