අදෘශ්‍යමාන ඒකාධිපති සහ එට්‌කා ගිවිසුමේ දේශපාලන තීන්දුව


එට්‌කා ගිවිසුම රටට හිතකරද අහිතකරද යන්න පිළිබඳව වගකීම ගන්නේ කවුද? යහපාලනයේ ප්‍රධානම අංගයක්‌ වන්නේ වගකීම සහ වගවීමයි. මීතොටමුල්ල කුණු කන්ද අහිංසක මිනිසුන්ගේ හිස මත කඩා වැටී දරු පවුල් පිටින් ඝාතනය වු විට අපේ පාලකයින් එකිනෙකාට චෝදනා කර ගත්තා මිස එහි වැරදිකරුවකු නොවීය. එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන්ද වගකීම භාරගත යුතු කිසිවකු හඳුනාගත හැකි නොවනු ඇත

2003 සිට 2008 දක්‌වා

ඉන්දියාව සමඟ යෝජිත විස්‌තීරණ ආර්ථික ගිවිසුමක්‌ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ වූයේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති ධූරය සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දැරූ කාලය තුළය. එවක සීපා ලෙස හැඳින්වූ මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ අධ්‍යයන කණ්‌ඩායමක්‌ පිහිටුවන ලද්දේ 2003 වසරේ අප්‍රේල් මසය.



මෙම ගිවිසුම තුළ, සේවා යටතේ තොරතුරු තාක්‌ෂණය සහ සංචාරක ව්‍යාපාරය පමණක්‌ නොව භාණ්‌ඩ සහ මගී ප්‍රවාහන සේවාවන්, අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, දුම්රිය මාර්ග, බලශක්‌ති ක්‌ෂේත්‍රය, ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, බැංකු සහ මුල්‍ය සේවා ද ඉන්දියානු සමාගම් සහ වෘත්තිකයන් වෙත විවෘත කිරීමට යෝජිතය.

2005 වසරේ සිදු වූ ආණ්‌ඩු මාරුවෙන් පසුව ද මෙම ක්‍රියාදාමය ඉදිරියට ඇදුණි. 2008 වසරේ සාක්‌ සමුළුවේ 15 වන සැසිවාරය කොළඹදී පැවැත්වෙන අතරතුර දෙරටේ නායකයන් විසින් සීපා ගිවිසුමේ රාමු ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබිණි. දේශීය ව්‍යාපාරිකයන්ගේ, ආණ්‌ඩු පක්‌ෂයේ ඇතැම් දේශපාලන කොටස්‌වල සහ ජාතික සංවිධාන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවයට අවසන් මොහොතේa ඇහුම්කන් දුන් එවක ජනාධිපතිතුමා එම ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටියේය. ඉන් පසුව සීපා ගිවිසුම සඳහා වූ ගමන ටික කලකට ඉතා දුබල විය. නමුත් ඉන්දියානු න්‍යායපත්‍රයට අනුව ක්‍රියා කළ පිරිස මේ ගිවිසුම යළි කරළියට ගෙන ඒමට වෑයම් කරමින් සිටියහ.

2017 වසර අගදී එට්‌කා

වත්මන් ආණ්‌ඩුව පත්වීමත් සමඟ සීපා ගිවිසුම වෙත යන ගමන ඉතා වේගවත් විය. ඊට සමාන්තරව විරෝධතාවයද වේගවත් විය. සීපා ගිවිසුමේ නම එට්‌කා ලෙස වෙනස්‌ කෙරුණි. මෙම ක්‍රියාදාමය ඉදිරියට ඇදෙන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමේ ක්‍රියාදාමය තුළ ඉතා වැදගත් ගුණාංගයන් ලෙස හඳුනාගෙන ඇති විනිවිදභාවය සහ පාර්ශ්ව කරුවන්ගේ සහභාගීත්වය යන ගුණාංගයන් සම්පූර්ණයෙන්ම බැහැර කරමිනි. අග්‍රාමාත්‍යතුමා වරෙක මෙම ගිවිසුමට කවුරුන් විරුද්ධ වුවත් තමන් එය අත්සන් කරන බව පැවසීය.

Comments